Homeඅපි ගැන
මානවශාස්ත්‍ර පීඨය

මානවශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන සම්ප්‍රදායේ ආරම්භය විද්‍යාලංකාර පිරිවෙනෙහි ආරම්භක අවධිය හා සම්බන්ධ වේ. අතිපූජ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් 1875 වර්ෂයේ දී විද්‍යාලංකාර උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය ස්ථාපිත වූ අතර 1959 දී එය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙසින් නම් කෙරිණි. එහි ප්‍රථම උපකුලපතිවරයා ලෙස අතිපූජ්‍ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියෝ කටයුතු කළහ. 1981/82 අධ්‍යයන වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති කලා පීඨය මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා යනුවෙන් පීඨ දෙකකට වෙන් කරනු ලැබිණ. එකල පිරිවෙන් පීඨය, භාෂා පීඨය, බෞද්ධ පීඨය හා කලා පීඨය වශයෙන් පැවති අධ්‍යයන කටයුතු වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර පීඨය නමින් එකාබද්ධ ව ඇත..

1963/64 අධ්‍යයන වර්ෂයේ දී පීඨයේ අධ්‍යයන කටයුතු ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම උදෙසා ජර්මන්, ප්‍රංශ වැනි විදේශ භාෂා උපාධි පාඨමාලා හඳුන්වා දී තිබේ.

මේ වනවිට මානවශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන අංශ නවයක් (09) යටතේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය සහ ශාස්ත්‍රවේදී විශේෂ උපාධි පාඨමාලා සඳහා අධ්‍යයන කටයුතු සිදුකරමින් පවතී.

පූජ්‍ය මහාචාර්ය කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති හිමි

මහාචාර්ය ඩී. ජේ. සෙනෙවිරත්න මහතා

මහාචාර්ය එස්. එල්. කැකුළාවල මහතා

මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහතා

මහාචාර්ය වයි. කරුණාදාස මහතා

මහාචාර්ය එස්. වීරතුංග මහතා

මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතා

මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහතා

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා

මහාචාර්ය සරත් අමුණුගම මහතා

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා

මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා

යන විද්වතුන් පීඨයේ අභිවෘද්ධිය උදෙසා මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරු ලෙස කටයුතු කර ඇත

මානවශාස්ත්‍ර පීඨයට අයත් අධ්‍යයන අංශ සහ උපාධි පාඨමාලා සඳහා එක් එක් අංශය මඟින් ඉදිරිපත් කරන විෂයයන් පහත දැක්වේ.
සිංහල අධ්‍යයන අංශය
සිංහල, සාහිත්‍ය විචාරය
ඉංග්‍රීසි අධ්‍යයන අංශය ඉංග්‍රීසි
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය පාලි, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය
සංස්කෘත අධ්‍යයන අංශය සංස්කෘත
හින්දී අධ්‍යයන අංශය හින්දී
නූතන භාෂා අධ්‍යයන අංශය ප්‍රංශ, ජපන්, ජර්මන්, චීන, රුසියන්, කොරියන්
වාග්විද්‍යා අධ්‍යයන අංශය වාග්විද්‍යාව, භාෂා පරිවර්තන ක්‍රම, දෙමළ, දෙවන භාෂාවක් ලෙස දෙමළ ඉගැන්වීම
බටහිර සම්භාව්‍ය සංස්කෘතිය සහ ක්‍රිස්තියානි සංස්කෘතිය අධ්‍යයන අංශය බටහිර සම්භාව්‍ය සංස්කෘතිය, ක්‍රිස්තියානි සංස්කෘතිය
ලලිත කලා අධ්‍යයන අංශය දෘශ්‍ය කලා හා සැලසුම්කරණ සහ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකය

දෘශ්‍ය කලා (චිත්‍ර, පරිගණක සැලසුම්කරණය) ප්‍රාසාංගික කලා (සංගීතය, නැටුම්)


නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය

නාට්‍ය හා රංගකලාව, ප්‍රතිබිම්බ කලාව (ඡායාරූප, රූපවාහිනී සහ සිනමාව)

ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශය ඉංග්‍රීසි, දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම

 

මූලික උපාධි පාඨමාලාවලට අමතරව පූර්වෝක්ත අධ්‍යයන අංශ මගින් සහතිකපත්‍ර, ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි පාඨමාලා ආදිය ද පවත්වාගෙන යනු ලැබේ.

පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මගින් විදේශ ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයකට ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා දී ඇති අතර අනෙකුත් අධ්‍යයන අංශ මගින් ද විදේශ ශිෂ්‍යයන් සඳහා පාඨමාලා ඉදිරිපත් කර ඇත.

නූතන භාෂා අධ්‍යයන අංශයේ කොරියන් භාෂා ප්‍රවර්ධනය සඳහා කොරියානු භාෂා කේන්ද්‍රයක් ද, ජර්මන් භාෂා මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යනු ලබන අතර චීන භාෂාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන් චීනයේ චොන්චින් විශ්වවිද්‍යාලය සමඟ එක්ව කොන්ෆියුසියස් නමින් ආයතනයක් ද ස්ථාපනය කර තිබේ.

පීඨයේ විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා භාෂාගාර, පරිගණක විද්‍යාගාර පිහිටුවා ඇති අතර පර්යේෂකයන් වෙනුවෙන් මානවශාස්ත්‍ර පීඨ පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කර තිබේ.

විශ්වවිද්‍යාලයෙහි සංස්කෘතික කටයුතු සංවර්ධනය කිරීමට සංස්කෘතික අමාත්‍යංශයේ සහයෝගයෙන් මානවශාස්ත්‍ර පීඨයට අනුබද්ධව සංස්කෘතික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලැබේ. පර්යේෂණ හා අධ්‍යයන කටයුතු වලට අමතරව මානවශාස්ත්‍ර පීඨ සුබසාධක සංගමය මගින් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සුභ සාධන කටයුතු ද පවත්වාගෙන යනු ලැබේ.

මානවශාස්ත්‍ර පීඨය
 

ආචාර්යවරුන් හා සිසුන් සඳහා නිවේදන

වැඩිදුර කියවන්න...

 

ආචාර්යවරුන් හා සිසුන් සඳහා නිවේදන

Last updated on Friday, 24 November 2017